(හිටපු අග්රාමාත්ය, එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිෙම්න්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතාගේ 73 වැනි ජන්ම දිනය අදට (24) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.) - ආචාර්ය සිරිමසිරි හපුආරච්චි
මව්බිමේ අභිමානවත් පරිණත ජාතික නායක රනිල් වික්රමසිංහ මහතාණෙනි, ඔබට සුබ උපන්දිනයක් වේවා යැයි පතමි.
1949 මාර්තු මස 24 වැනි දින විජයවර්ධන පරපුරේ එස්මන්ඩ් වික්රමසිංහ සහ නාලනී විජයවර්ධන මව්පියන්ට දාව කොළඹ සේදවත්ත ග්රාමයේ රනිල් ශ්රියාන් වික්රමසිංහ ළදරුවා උපත ලැබීය. සියලු සැප සම්පත් මැද හැදී වැඩුණු මෙතුමා කොළඹ රාජකීය විද්යාලයේ ආදි සිසුවෙකි. දහම් පාසල් අධ්යාපනය ලැබුවේ බම්බලපිටිය වජිරාරාමයෙනි. ළමා වියේදී ප්රකට කලාකරුවකු වූ නර්තන ආචාර්ය ජනනාත් පියාණන්ගෙන් නර්තනය හැදෑරූ අතර, සංගීතය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් වෙතින් උගත්තේය. ඉන් අනතුරුව බැසිල් මිහිරිතැන්න සහ අයිලින් සරත්චන්ද්ර වැනි ප්රවීණයන්ගෙන් කලාව හා සංස්කෘතිය හදාරා ඇත. රනිල් වික්රමසිංහ තරුණයා ශ්රී ලංකා කොළඹ විශ්වවිද්යාලයේ නීති පීඨයේ නීති ශිෂ්යයකු ලෙස නීති ශිෂ්ය සංගමයේ සභාපති සහ මහා ශිෂ්ය සංගමයේ උප සභාපති ද විය. නීතිඥ උපාධි ගත් මෙතුමා මෙරට විශ්වවිද්යාලයකින් උපාධිය ගත් එකම අගමැතිවරයා වශයෙන් ඉතිහාසගතව ඇත.
නීතිඥයකු වශයෙන් කටයුතු කරමින් සිටින විට එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආශිර්වාදය හා විශ්වාසය මත බියගම මැතිවරණ කොට්ඨාසයේ සංවිධායකවරයා වශයෙන් පත්ව 1977 මහා මැතිවරණයෙන් විශාල වැඩි ඡන්ද සංඛ්යාවක් ගනිමින් ප්රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් වූ රනිල් වික්රමසිංහ මහතා ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජයේ තරුණ කටයුතු පිළිබඳ ඇමැතිවරයා වශයෙන් පත් විය. ජේ. ආර්. ජයවර්ධන රජයේ ළාබාලතම කැබිනට් ඇමැතිවරයා වූ මෙතුමා ශ්රී ලංකා ප්රථම තරුණ කටයුතු ඇමැතිවරයා වශයෙන් ද දේශපාලන ඉතිහාසයට එක් විය. ජාතික තරුණ සේවා සභාව වැනි ආයතන ආරම්භ කරමින් තිරසර සංවර්ධන ක්රියාදාමයට තරුණ පරපුර යහමඟට ගැනීමට බොහෝ දේ සිදු කළේය.
මෙරට පහළ වූ බුද්ධිමත් දේශපාලනඥයකු වූ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අවධානයට ලක් වන රනිල් වික්රමසිංහ තරුණයා නායකත්වයට බොහෝ සෙයින්ම ගරු කළේය. තමන්ට ඉහළින් ඇති නායකත්වය රැක ගනිමින් පක්ෂයත්, පාක්ෂිකයනුත් රැකගෙන කටයුතු කරන බව ජේ. ආර්. ජයවර්ධන මහතා දැඩි සේ විශ්වාස කළේය. ක්රමයෙන් දැනුමෙන්, බුද්ධියෙන් පරිණතවී නිරායාසයෙන්ම රනිල් වික්රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් විය.
වසර 45ක දේශපාලන ඉතිහාසයක් රනිල් වික්රමසිංහ මහතාට තිබේ. මා එක්සත් ජනතා පෙරමුණ දේශපාලන පක්ෂයේ නායකයා වශයෙන් සහ එතුමන් සමඟ එක්ව දේශපාලනය කරන අයකු වශයෙන් පරිණත නායක රනිල් වික්රමසිංහ දකින්නේ තනතුරුවලින් තමන් බැබළීම වෙනුවට හැකියාව, දක්ෂතාව සහ පරිණත බුද්ධියෙන් ජනතාවගේ අභිවෘද්ධිය සලසන්නට සිය යුතුකම් ඉටු කළ අයෙක් ලෙසිනි. මහත්මා දේශපාලනය යන්න වචනවලට පමණක් සීමා නොකළ මෙතුමා කිසි විටෙක තමන්ගේ ප්රතිරූප නංවන්න මහජන මුදල් වැය කළේ නැත.
ඉවසීම ප්රගුණ කළ තීක්ෂණ බුද්ධියකින් හෙබි මෙතුමා දැනට සිටින දේශපාලන නායකයන්ට බොහෝ දේ උගත හැකි චරිතයකි. යම් කරුණක් පැහැදිලි කිරීමේදී මෙතුමාගේ නිවැරැදි වාග් විලාසය කැපී පෙනේ. සිංහල සහ ඉංග්රීසි භාෂා ද්විත්වයම භාවිත කරමින් මෙතුමා ලෝකයාටම කියාපාන්නේ පරමාදර්ශී මහත්මා දේශපාලනඥයකුගේ විලාසයයි.
මෙවන් නිහතමානී ඉවසීම් ගරු කොට ගත් නායකයකු මෙරට පාලනයට පත් කිරීම රටේම භාග්යයක් බව සඳහන් කළ යුතුය. හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ විශේෂිත ලක්ෂණයක් වනුයේ පාර්ලිමේන්තුව පිළිබඳව ඇති දැඩි විශ්වාසයයි. පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් වාර්තා පරිශීලනය කිරීමේදී මෙතුමා කළ කී දේ මොනතරම් වැදගත් දැයි මුළුමහත් ලොවම දැන ගත යුතු යැයි මට හැඟේ.
යහපාලන රජයේ අග්රාමාත්යවරයා වශයෙන් රනිල් වික්රමසිංහ මහතා වැඩ භාර ගත් පසු ලෝකයේ සියලු රටවල් සමඟ අන්තර්ජාතික සබඳතා දිනෙන් දින වැඩි දියුණු විය. GSP + සහන මෙරටට ගැනීමට හැකි විය. අන්තර්ජාතික වශයෙන් ආධාර බොහෝ ලැබුණි. ලොව සියලු රටවල වැසී තිබූ දොරවල් මෙරටට විවෘත විය. රටට ගැළපෙන අයුරින් ආර්ථිකය නංවාලීම රටේ පැවැත්මට හේතුවේය යන්න රනිල් වික්රමසිංහ මහතාගේ දැක්ම විය. එකල රටේ ශීඝ්ර දියුණුවක් පෙනෙන්න තිබුණි. අද ලොවට ගැළපෙන අයුරින් තරුණ තරුණියන්ට කාර්මික හා තාක්ෂණික අධ්යාපනය දෙමින් එයින් විදේශ රැකියා අවස්ථා පුළුල් කර රටට අවශ්ය විදේශ විනිමය ගැනීම මෙතුමන්ගේ තවත් දැකීමක් විය.
බුද්ධ වචනය සිය ජීවිතයේ මූලික දර්ශනය කර ගනිමින් ජීවත් වන දේශපාලන නායකයෙක් වේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රනිල් වික්රමසිංහ මහතාගේ චර්යාව මනාව දිස් වේ. අන් ආගම්වලට ද එක ලෙසට සලකන ආගමික සංහිඳියාව හොඳින් වටහා ගත් දේශපාලනඥයකි. ලෝකයේ රාජ්ය නායකයන් අතර රනිල් වික්රමසිංහ මහතාගේ විදෙස් ප්රතිපත්ති අන්තර්ජාතික වශයෙන් මහත් කීර්තියටත්, ප්රශංසාවටත් පත්ව ඇත. ලොව සෑම රාජ්යයක් සමඟ එක හා සමානව කටයුතු කිරීම මෙතුමාගේ වැදගත්ම විදේශ ප්රතිපත්තියක් විය.
විශේෂයෙන් අද දේශපාලන ක්ෂේත්රය මෙහෙයවීමට පරිනත, උගත් දේශපාලන නායකයකුගේ අවශ්යතාව තදින්ම දැනෙන්න පටන් ගෙන තිබේ. එනිසා මේ ඔහු ගැන කතා කිරීමට සුදුසුම කාලයයි.
බොහෝ දේශපාලනඥයන්ට වඩා උසස් ලෙස පොදු ජනතාවගේ ගෞරවාදරයට පාත්ර වී සිටින පරිණත ජාතික නායක රනිල් වික්රමසිංහ මහතාණෙනි, ඔබතුමන් රටත්, ජනතාවත් වෙනුවෙන් කළ දේ බොහෝය. තවත් කිරීමට ඇති දේ බොහෝය. ඔබගේ ඉදිරි බලාපොරොත්තු ඉටු වේවායි ප්රාර්ථනා කරන අතර, නිදුක් නීරෝගී දිගාසිරි ලැබේවායි ආශිංසනය කරමි.

No comments:
Post a Comment