Monday, 7 March 2022




දිවියට සමුදුන් නැදුන්ගමුවේ විජය රාජා හස්තියා වෙනුවෙන් අද පස්වරුවේ ආගමික වතාවත් ඉටුකරනු ලැබීය.
අනතුරුව නැදුන්ගමුවේ රාජාගේ දේහය සංරක්ෂණය සඳහා ජාතික කෞතුකාගාරය වෙත භාරකෙරුණි.
දහතුන් වසරක් මහනුවර ඓතිහාසික ශ්රී දළදා පෙරහැරේ පෙරහර කරඬුව වැඩමකරවීමේ භාග්යය හිමිවූ රාජාගේ මියයාම සැලවීමත් සමඟ ගම්පහ හර්ෂ ධර්මවිජය වෙද මහතාගේ නිවසට මහා ජන ගඟක් ගලා එන්නට විය.
ඒ රාජාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාය.
මහනුවර ශ්රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා ද එහි පැමිණ රාජාට අවසන් ගෞරව දැක්වීය.
මේ අතර නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධ ශාසන, ආගමික,හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ අනාගත පරපුරට දැකගැනීම සඳහා රාජාගේ සිරුර සංරක්ෂණය කරන ලෙසය.
මියයන විට නැදුන්ගමුවේ රාජාගේ වයස අවුරුදු 69කි.
2005 වසරේ සිට 2021 වසර දක්වාම මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්යෙය් අවසන් මහා පෙරහර වැඩිම සංඛ්යාවක පෙරහර කරඬුව වැඩමවීමේ භාග්යය උදාකර ගත්තේ නැදුන්ගමුවේ රාජා හස්තියාය.
එම කාලය තුළ අවස්ථා 4 කදී හැර වසර 13ක් පුරා රාජා අවසන් මහා පෙරහරේ මඟුලැතුව, තේජසින් පෙරහර කරඬුව වැඩමවීමේ උතුම් කාර්යයට දායක වුණි.
1953 වසරේ ඉන්දියාවේ මයිසූර්හි උපත ලබා ඇති රාජා මෙරටට පැමිණෙන්නේ නීලම්මහර රජමහා විහාරස්ථානයේ හිමිනමකට පරිත්යාගයක් වශයෙන් හිමිවීමත් සමගය.
පසුකාලීනව ධර්ම විජය වෙද පරපුර භාරයට පත් රාජා 40 වසරකට අධික කාලයක් එහි හැදීවැඩුණි.
ආසියාවේ සිටින හීලෑ අලි ඇතුන් අතරින් විශාලතම සහ උසම හස්තියා ලෙස ලෙස සැලකුණේද නැදුන්ගමුවේ රාජාය.
ශ්රී දළදා පෙරහර කරඬුව වැඩමවීමේ භාග්යය ලත් මේ පින්සාර සද්දන්තයා කෙරෙහි මෙරට ජනතාව තුළ පැවතියේ දැඩි ළෙන්ගතුභාවයකි.
ප්රවාහන රථවල ගමන් නොගන්නා රාජා සෑම වසරකම දින ගණනාවක් පා ගමනින්ම මහනුවරට ගමන් ගන්නා අවස්ථාවේ මඟ දෙපස රැස්වන ජනතාව රාජා වෙනුවෙන් දක්වන ආදරය සහ ගෞරවය ඊට හොඳම නිදසුනය.
සත්ත්වයෙකු වුවත් අවස්ථා ගණනාවකදීම රාජා ජනතා උපහාරයෙන් පවා පිදුම් ලැබීය.
ජාතික උරුමයක් ලෙස ද නම් කර සිටි නැදුන්ගමුවේ රාජා අද පෙරවරුවේ සිය ජීවිතයෙන් සමුගත්තේය.

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...